එකෝමත් එක රටකට එකෝමත් එක කාලෙක ලොකු නියගයක් ආවා. ගස්, වැල්, ගංගා හැම දෙයක්ම වියළිලා ගියා. ඉතින් පුතේ මේ ගමේ සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් කෑමට දෙයක් තිබුණේ නැහැ. හැමෝම දුකින් තමයි ජීවත් වුණේ.
එක දවසක් සක් දෙවියොන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය රත් වුණා. ඊට පස්සේ පුතේ සක් දෙවියෝ දිවැසින් බැලුවා කාටද කරදරයක් වෙලා තියෙන්නේ කියලා. සක් දෙවියෝ මේ ගමේ මිනිස්සු කෑම බීම නැතුව දුකින් ජීවත් වෙන්නේ කියලා දැක්කා.
සක් දෙවියෝ එයාලට උදව් කරන්න මහලු දුප්පත් කෙනෙක් වගේ වෙස්වලාගෙන ඒ ගමේ එක ගෙදරකට ගියා. මේ ගෙදර ජීවත් වුණේ මහලු ආච්චි කෙනෙක් විතරයි.
මේ ආච්චිගෙන් සක් දෙවියෝ කෑමට දෙයක් ඉල්ලුවා. ආච්චි මහල්ලෙක් වගේ ඉන්න සක් දෙවියොන්ට කීවා කෑමට කිසිම දෙයක් නැහැ කියලා.
ඊට පස්සේ සක් දෙවියෝ මිදුලේ තිබුණ කොස් ගහට අත දික් කරල කීවා අර ගහෙන් ගෙඩියක් කඩලා සුද්ද කරලා තම්බන්න කියලා. ඒ ගහේ ගෙඩි කවදාවත් ඒ ආච්චි කාලා නොතිබුණත් මේ මහලු කෙනා බුද්ධිමත් කෙනෙක් කියලා හිතලා ආච්චි කොස් ගෙඩියක් කඩලා සුද්ද කරලා තම්බන්න පටන් ගත්තා.
කොස් එක තැම්බීගෙන එනකොට සුවඳ දැනුණු නිසා ආච්චී මඳුලක් කාලා බැලුවා. හරිම රස කෑමක් කියලා ආච්චිට හිතුණා.
කොස් මදුලක් හොරෙන් කනවා බලාගෙන හිටිය සක් දෙවියෝ "හෙරලිය" කියලා කෑ ගැසුවා.